ඒ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!! සාදු…සාදු…සාදු !!!


කේශ ධාතූන් වහන්සේලාගේ ඉතිහාසය

බුදුරදුන් සරණ ගිය ප්‍රථම උපාසකයින් දෙදෙනා වන තපස්සු භල්ලුක වෙළඳ සොයුරන් විසින් බුදුරදුන්ගෙන් කේශ ධාතූන් වහන්සේලා ලබාගෙන සෑයක් ඉදිකර ඇත. නමුත් චීන, බුරුම, ඉන්දියානු සහ සිංහල බෞද්ධයින් අතර එම සෑය තිබෙන ස්ථානය සම්බන්ධයෙන් වෙනස් මතවාද තිබේ.

 

හියුං සාං හිමියන්ගේ වාර්තා අනුව වර්තමාන ඇෆ්ගනිස්ථානයේ බාහ්ලුක (බල්ක්) ප්‍රදේශයේදී තපස්සු භල්ලුක දෙදෙනා කේෂ ධාතු තැන්පත් කර තැනූ දාගැබ වැඳ පුදාගත් බව සඳහන් වේ. භල්ලුකගේ නමින් බාහ්ලුක ප්‍රදේශය නම් වූ බවටද මතවාදයක් ඇත. කේසථූප, භෙක්ඛු තපුස දනම්, භාලික ලේන යන වචන එම සෙල්ලිපියේ සඳහන් බව පවසයි. (Tapassu and Bhalluka of Orissa, Their Historicity and Nativity – Orissa Review Nov. 2007) මේ අතර බුරුමයේ ස්වේදගොන් චෛත්‍යය තපස්සු – භල්ලික දෙදෙනා විසින් කේශ ධාතු තැන්පත් කොට සාදන ලද දාගැබක් බව එරට වැසියෝ විශ්වාස කරති. ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන විද්‍යාඥ ජායි ප්‍රකාශ් ඔරිස්සා ප්‍රදේශයේ තිබෙන ලෙන් ලිපියකට අරුත් දක්වමින් තපස්සු භල්ලුක දෙදෙනා තැනූ දාගැබක් එහි තිබුණ බව පෙන්වා දෙයි. තිරිකුණාමලයේ තිරියායේ පිහිටි ගිරිහඩු සෑය තපස්සු භල්ලුක දෙදෙනා තැනූ කේශ ධාතු චෛත්‍යය ලෙස සිංහල බෞද්ධයෝ විශ්වාස කරති. ගිරිකණ්ඩි චෛත්‍යය ත්‍රපුස්සක වල්ලික නම් වෙළෙඳ ගණයා ඉදිකළ බව එහි තිබෙන සංස්කෘතයෙන් ලියූ සෙල්ලිපියේ සඳහන් වෙයි. එසේ වුවත් ගිරිකණ්ඩ සෑය ගැන මහාවංසයේ සඳහන් නොවේ. එයට හේතුව ඒ පූජනීය ස්ථානය මහායාන භික්ෂූන්ට අයත් වීම නිසා වන්නට පුළුවන. තපස්සු – භල්ලුක දෙදෙනා වෙළෙඳුන් වූ නිසා ඔවුන් ගමන් කළ දේශවල කේශ ධාතු කොටස් තැන්පත් කොට දාගැබ් තනන්නට ඇතැ යි මේ විස්තර අනුව සිතිය හැකි ය.


බුදුරදුන් බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පොහෝ දින යක්ෂයින් දමනය කිරීමට ලක්දිව මහියංගනයට වැඩම කළ සේක. වැඩම කොට යක්ෂයින් දමනය කර දෙවියන්ට දහම් දෙසූ සේක. බුද්ධ දේශනාව ශ්‍රවණය කළ සුමන සමන් දෙව්රජු සෝවාන් ඵලයට පත් විය. එකල්හි සුමන සමන් දෙව්රජු බුදුරදුන් වෙත එළැඹ ඇඳිලි බැඳ ගෙණ “ස්වාමීනි, අපට වන්දනා කිරීමට කිසියම් පූජනීය වස්තුවක් ලබා දෙනු මැනවැ”යි කියා ඉල්ලා සිටියේය. බුදුහු දකුණතින් තමන් වහන්සේ ගේ හිස පිරිමැද කේශ ධාතු මිටක් ලබා දුන්හ. සුමන සමන් දෙව්රජු රන් කරඬුවකින් කේශ ධාතු පිළිගෙන බුදුරදුන් වැඩ සිටි තැන කේශ ධාතු සහිත රන් කරඬුව තැන්පත්කර සත් රියන් උසට ඉන්ද්‍රනීල මාණික්‍යමය ස්තූපයක් කළේය. සර්වඥ කේශ ධාතු හා ග්‍රීවාස්ථි ධාතුව වැඩ සිටින මහියංගන මහා ස්තුපයෙන් ද අවස්ථා කිහිපයක දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්යයන් සිදු වී ඇත.




සේරුවිල මංගල මහා සෑයේ ද කේශ ධාතු තැන්පත් කර ඇත. මේ කේශ ධාතු භූමින්ධර නම් වූ නාග භවනේ ජයසේන නාරජු සතුව තිබුණි. නාරජු කේශ ධාතු ලබා ගෙන ඇත්තේ තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් ගෙනි. නාග ලෝකයේ සිට කේශ ධාතු වැඩම කර වූයේ සිව තෙරුන් වහන්සේ යි. මෙයින් පෙනී යන්නේ සේරුවිල මංගල මහා සෑයේ සර්වඥ ලලාට ධාතූන් වහන්සේ මෙන් ම සර්වඥ කේශ ධාතූන් වහන්සේලා ද වැඩ සිටින බව යි. සේරුවිල මංගල මහා සෑයේ නිදන් කිරීමට කේශ ධාතු ලබා ගත් ආකාරය ධාතුවංශයේ විස්තර වශයෙන් දැක්වේ.

චූළවංශයේ සඳහන් වන ආකාරයට පළමු වැනි මුගලන් රජු සමයේ දී (ක්‍රි.ව. 491 – 508) අඹ හෙරණ ශිලාකාලයන් දඹදිව සිට ලක්දිවට සර්වඥ කේශ ධාතු වැඩම කරවීය. මුගලන් රජු ඒ කේශ ධාතු මහත් වූ ගෞරවයෙන් යුතු ව පිළිගෙන අගනා කරඬුවක තැන්පත් කර දීපංකර ප්‍රතිමා ගෘහයට වැඩම කරවා පුද සත්කාර පවත්වා ඇත.

බුදුරදුන් ගේ කේශ ධාතූන් වහන්සේලා සය නමක් නිදන් කර තනන ලද ස්තූප සයක් ගැන විස්තර “කේශධාතුවංශය” නමැති ග්‍රන්ථයේ සඳහන් වේ. මෙය ප්‍රමාණනේ කුඩා පාලි ග්‍රන්ථයකි. අතීතයේ “කේශධාතුවංශය” නමින් ප්‍රකට ග්‍රන්ථයක් තිබූ බව චූළවංශයෙන් පෙනෙයි. ඒ ත් ඒ ග්‍රන්ථය මේ වන විට දක්නට නැති ඉතා දුර්ලභ ග්‍රන්ථයකි.

“චත්තාලීස සමා දන්තා – කෙසා ලොමා ච සබ්බසො,
දෙවා හරිංසු එකෙකං – චක්කවාළපරම්පරා”
මහා පරිනිර්වාණ සූත්‍රය අවසානයේ ඇති මේ ගාථාවට අනුව බුදුරදුන් ගේ සම සතළිස් දන්ත ධාතු ද කේශ ධාතු ද ලෝම ධාතු ද නොයෙක් සක්වළින් පැමිණි දේවතාවන් ගෙන ගොස් ඇත. ධාතූන් වහන්සේලා ගෙන ගිය බව සඳහන් ව තිබුණ ත් එයට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.

මහසෙන් රජතුමා විසින් කර වූ අනුරාධපුර ජේතවනාරාම මහා ස්තූපය තුළ බුදුරදුන් ගේ පටී ධාතුවෙන් අඩක් හා අස්ථි ධාතු හැරුණු විට කේශ ධාතු ද තැන්පත් ව ඇත. මේ බව ස්තූපය වන්දනා කිරීමට යොදා ගන්නා පාලි ගාථාවෙන් පෙනෙයි. එය මෙසේ යි.
“පතිට්ඨපෙත්Àව ජිනකායබන්‍ධනං – සකෙසධාතුං සහදෙහධාතුයො,
මහා මහා සෙනනරිÁදකාරිතං – සුචෙතියං ජේතවනං නමාමි.”
“බුදුරදුන් ගේ පටී ධාතුව ත් කේශ ධාතුත් අස්ථි ධාතුත් තැන්පත් කර මහසෙන් මහ රජතුමා විසින් කරවන ලද ජේතවනාරාම මහා සෑයට මම නමස්කාර කරමි.”

බදුල්ල මුතියංගන මහා ස්තූපය තුළ ද කේශ ධාතු තැන්පත් ව ඇත. එහි තැන්පත් ව ඇත්තේ බුදුරදුන් ඉන්දක දිව්‍ය පුත්‍රයාට ලබා දුන් කේශ ධාතූන් ය. කතරගම කිරිවෙහෙර නමින් ප්‍රකට මඟුල් මහා සෑයේ ද කේශ ධාතු තැන්පත් ව ඇත. මේ හැරුණු විට හම්බන්තොට ගොඩවාය වරාය අසල පිහිටි ගෝඨපබ්බත රජ මහා විහාරයේ කුඩා කඳු ගැටය මත පිහිටි ස්තූපය තුළ ද කේශ ධාතු තැන්පත් ව ඇතැයි සැලකේ.

බංග්ලාදේශයේ චිතගොන්හි මහා විහාරයක ද සර්වඥ කේශ ධාතු තැන්පත් කර ඇත. මේ කේශ ධාතුවලින් කොටසක් 1959 වසරේ දී ලංකාවට ලැබුණි. එසේ ලැබුණු කේශ ධාතු හලාවත මාදම්පේ සේනානායකාරාමයේ කලුගලින් තැනූ මහා ස්තූපය තුළ තවත් බොහෝ ශුද්ධ වස්තූන් ද සමගින් නිදන් කර ඇත. ලෝකයේ තනි කර කලුගලින් බඳින ලද එකම ස්තූපය කේශ ධාතු නිදන් කර ඇති මේ මහා ස්තූපයයි. සැබැවින්ම මෙය අසිරිමත් ස්තූපයකි. ඔබ ඉහත වීඩියෝවෙන් දුටුවේ බංගලාදේශයේ චිතගොන් විහාරයේ තිබූ ඉතිරි කේශ ධාතූන් වහන්සේලාගෙන් 2007 වසරේදී ලංකාවට වැඩමවන ලද තවත් කොටසකි.

කේශ ධාතූන් වහන්සේලා සත්‍යම ඒවාද?

කිසිදු ශ්‍රද්ධාවක් නොමැති සමහර උදවිය සිරි දළදා සමිඳු ඇතුළු සර්වඥ ධාතූන් වහන්සේලා සත්‍යම ඒවාදැයි ප්‍රශ්න කරනු මම දැක ඇත්තෙමි. කාබන් පරීක්ෂණයක් නොකර ඔය ධාතු වන්දනා කරන්නේ ඇයිදැයි ඔවුන් අසයි. එසේම ධාතු වන්දනාව බුදුරදුන් වදාළ දෙයක්දැයි ඔවුන් තව දුරටත් අසයි. පළමුකොටම මහියංගනය, සේරුවිල, සෝමාවතී වැනි සර්වඥ ධාතූන් වහන්සේලා නිදන් කර ඇති දාගැබ් වල පමණක් සහ දළදා මාළිගාවේ යම් යම් ප්‍රාතිහාර්යයන් සිදු වීම කරන කොටගෙන මේ වැඩ සිටින්නේ සර්වඥ ධාතූන් වහන්සේලාම බව වටහා ගත හැකිය. එම ප්‍රාතිහාර්යයන් යනු වෙනත් සක්වලයන්හි සිටින ජීවීන් (දෙවියන්) ධාතු වන්දනාවට පැමිණි අවස්ථාවල ඔවුන් පැමිණි යානා වලින් ඇති වන ආලෝක ධාරා වීමට හැකි යැයි මම උපකල්පනය කරමි. බෞද්ධයින් බුදු රදුන් කෙරෙහි ඇති අසීමිත ශ්‍රද්ධාව නිසා කිසි ලෙසකින්වත් කාබන් පරීක්ෂණ කිරීමට ඉඩ නොතබනු ඇත. මන්ද යත් අපිට අවශ්‍ය බුදු රදුන්ව මෙනෙහි කර කුසල කර්මයක් (කුසල චේතනාවක්) ඇතිකරගැනීමට මිස භෞතිකව බුදුරදුන්ව සෙවීම නොවන බැවිනි. එසේම ඒවා සත්‍ය වශයෙන්ම සර්වඥ ධාතු වීමට අතිශයින්ම ඉඩ ඇති නිසා ඒවා පරීක්ෂා කළහොත් එමගින් නොසිතන දෙවල් වුවද වීමට ඉඩ ඇති බැවිනි. සැදැහැති බොදුනුවන් ලෙස අපිට ඒ ඒ සර්වඥ ධාතූන් සත්‍යම ඒවාදයි සොයා බැලීමට අවශ්‍ය නැත. එසේම බුදුරදුන් ජීවමානව සිටි සමයේ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ට කේශ ධාතු ලබාදීමෙන් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරගැනීමට ධාතු වැඳ පුදා ගැනීම අනුමත කර ඇත.

බෞද්ධයන් බුදුරදුන් වෙනුවෙන් දාගැබක් ඉදිකරන විට සර්වඥ ධාතු නිධානය අනිවාර්යෙන් සිදුවන්නකි. සර්වඥ ධාතු දකින්නට ලැබීම නිසා බුදුරජාණන් වහන්සේ යනු සැබැවින්ම ලොව විසූ ශාස්තෘවරයකු බව සනාථ වෙයි. වෙනත් ආගම්වලට තිබෙන එවැනි ඓතිහාසික සාධක සීමිත ය. වෙනත් ආගම් ලොව ප්‍රචලිත වුණේ අවි බලයෙනි. බලහත්කාරයෙනි. බුදුදහම ප්‍රචලිත වුණේ ධර්ම ප්‍රචාරයෙන් සහ සර්වඥ ධාතු වන්දනාව මඟිනි. බුද්ධ ශාසනය අවසන් වන විට සර්වඥ ධාතු සියල්ල ම ලක්දිවට එක්රැස්ව බුදුරුවක් මැවී අතුරුදන් වන බව මිලින්ද ප්‍රශ්නයේ සඳහන් වෙයි.


සාදු…සාදු…සාදු !!!

ආශ්‍රිත:  http://sinhalabuddhist.com/2011/03/dhaathuun-vahansealaa/

Bethiyen Namadimu Budurajune.mp3

HTML Comment Box is loading comments...

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola